Information and Communication Technology Agency of Sri Lanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
ReGov - Preview of 2011

2011 දෙස ආපසු හැරී බලමු

E-mail Print PDF

2011 වසර තොරතුරු හා සන්නනිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයට විශේෂ වසරකි.  ඒ ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් අවසන් වටය ඉතා වේගයෙන් හා අධිෂ්ඨානශීලීව දිවීමට කටයුතු කළ හෙයිනි.  ඒ අනුව 2011 වසරේ දී රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් අප විසින් නිම කරන ලද වැඩ කොටස් දෙස විමර්ශනාත්මකව බැලීම හා 2012 වසරේ ඉ-රාජ්‍ය බලාපොරොත්තු ගැන සාකච්ඡා කිරීමට මෙය සුදුසු අවස්ථාවකි.

1. ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය 

පසුගිය වසර තුළ ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති සමුළු 11ක් රට පුරා පවත්වන ලදී.  කොළඹ, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමළය, හම්බන්තොට, ගාල්ල, නුවර හා කළුතර යන ප්‍රධාන නගරවලදී දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ප්‍රධාන නවීකරණ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 706 ක් පමණ සහභාගී වූ අතර ලංකා ද්වාරය හරහා ඉ-සේවා ලබා දීම සඳහා තම යෝජනා කණ්ඩායම් ක්‍රියාකාරකමක් වශයෙන් ඉදිරිපත් කිරීම මෙහි විශේෂ අංගයක් විය.  මෙහිදී ඉදිරිපත් වූ ඉ-සේවා යෝජනා ලැයිස්තුව මෙහි දැක්වේ.

2011 දෙසැම්බර් මස වන විට ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය හා අනුගත වීමේ දර්ශකය යම් තරමකට ඉහළ නැග ඇතත් එය එතරම් සුභවාදී තත්වයක නැත.  අනුගත වීමේ අවශ්‍යතාවය ද දන්වා ප්‍රතිපත්තියේ ප්‍රධාන කරුණු 40 කට අනුගත වීමේ තත්වය ලෙස දන්වන ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද අංක SP/SB/06/11 දරණ චක්‍රලේඛයට පිළිතුරු සපයන ලෙස  එසේ දන්වන ලද ආයතන 1020 න් 2011-12-31 දින දක්වා ප්‍රතිචාර සපයන ලද්දේ ආයතන 230 ක් (21.5%) පමණි. සාරාංශ වශයෙන් අවශ්‍ය අවම අනුගත වීමේ මට්ටම වන 75%ක් ලබා ගෙන ඇත්තේ තම වාර්තා ඉදිරිපත් කළ ආයතන 207න් 26ක් පමණි (මුළු ආයතන සංඛ්‍යාවෙන් 2.4% හා ප්‍රතිචාර දැක් වූ ආයතන සංඛ්‍යාවෙන්).  ඉතිරි ආයතන සියල්ල ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රථම කරුණු 40 ක්‍රියාක්මක කිරීමට අසමත් වී ඇත. (මෙම අනුගත වීමේ තත්ව මෙම සබැදියෙන් පරීක්‍ෂා කළ හැක)

  සබැදි 1 (ods)
  සබැදි 2 (xls)
 

2. දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය හේතු කොට ගෙන මොණරාගල දිස්ත්‍රික්කයේ ම උප්පැන්න, විවාහ හා මරණ සහතික සියල්ල පරිගණක ගත කෙරිනි.  ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාළ පරිගණ මෘදුකාංග උපකරණ හා පුහුණුව ද ලබා දී පුරවැසියනට ඉතා පහසු සේවාවක් ලබා දී ඇත.

 

3. ලංකා රාජ්‍ය ජාල තොරතුරු උපරි ව්‍යුහ සමාගම
දැනට ලංකා රාජ්‍ය ජාලය අදියර 2ක් නිම කොට පළාත් 7ක ආයතන 477ක් රාජ්‍ය තොරතුරු උපරි ව්‍යුහයට සම්බන්ධ වී ඇත.  එය මෙතෙක් කල් කොරියාවේ “සැම්සුන්” ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද අතර 2011 ජූලි මස සිට මෙම කටයුතු පාලනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ උප සමාගමක් ලෙස “ලංකා රාජ්‍ය ජාල තොරතුරු උපරි ව්‍යුහය” නමින් ආයතනයක් ලියාපදිංචි කරන ලදී.  එම ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පහත පරිදි වේ.

  1. එම්. ඩී. ආර්. සේනානායක මහතා - සභාපති
  2. ආචාර්ය නිමල් රත්නායක මහතා  - සාමාජික
  3. අර්ල් ප්‍රනාන්දු මහතා  - සාමාජික
  4. රෙෂාන් දේවපුර මහතා  - සාමාජික
  5. වසන්ත දේශප්‍රිය මහතා  - සාමාජික
  6. ලාල් ඩයස් මහතා  - සාමාජික
  7. හර්ෂ විජේවර්ධන මහතා  - සාමාජික
  8. සංජය කරුණාසේන මහතා - සාමාජික

නව අධ්‍යක්‍ෂ මණ්ඩලය ලංකා රාජ්‍ය ජාලයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට දැනටමත් පියවර කිහිපයක් ගෙන ඇති අතර ඉන් වැදගත්ම කරුණ නම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ද සමාජිකයෙකු වන ආචාර්ය නිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් කෙරෙන ජාල මධ්‍යස්ථානය (network hub)  කාර්යක්‍ෂමතාව පිළිබඳ කෙරෙන තාක්‍ෂණික අධ්‍යයනයයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පරිගණක ජාල විශේෂඥයකු වන එම මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති තාක්‍ෂණික කමිටුව පවත්වන මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මත ලංකා රාජ්‍ය ජාල කටයුතු  වඩාත් කාර්යක්‍ෂම වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙතෙක් 128 kbps සම්බන්ධතා 266ක් ලංකා රාජ්‍ය ජාලය මගින් ලබා දී තිබූ අතර ඒ සියල්ල 512 kbps සම්බන්ධතා බවට 2011 දෙසැම්බර් මස උසස් කරන ලදී.  ලංකා රාජ්‍ය ජාලය අන්තර්ජාලයට මෙතෙක් සම්බන්ධ වී ති‍බුනේ 2 x 10 mbps සම්බන්ධතා දෙකකිනි.  මේවා  15 kbps x 2  ලෙස ද දෙසැම්බර් මස දී උසස් කෙරිනි.

 

4. වෙබ් අඩවි නිම වීම

2011 වසරේ දී රාජ්‍ය ආයතන 101ක් අප ආයතනයේ  සහාය ඇතිව වෙබ් අඩවි නිමවා එළි දක්වන ලදී.    ඉන් එක් වෙබ් අඩවියක් වන කාළගුණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය නිසි පරිදි යාවත්කාලීන නොකිරීම පිළිබඳ ව අප නියෝජිතායතනයට ප්‍රසිද්ධ මාධ්‍ය මගින් විවේචන එල්ල වූ හෙයින් ඒ පිළිබඳ පහැදිලි කිරීමක් සඳහා මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙම කර්තව්‍යයේ දී අප ආයතනය රාජ්‍ය ආයතනවලින් වෙබ් අඩවි නිපදවීමේ අවශ්‍යතාව හා කැමැත්ත විමසා ඉන් අන්තුරුව ඒ සදහා (රාජ්‍ය ආයතන කිහිපයකට එක් වර) ටෙන්ඩර් කැදවා තෝරා ගත් සමාගමට අදාළ වෙබ් නිපදවීම භාර කෙරේ. රාජ්‍ය ආයතනයක් සඳහා වෙබ් අඩවියක් සැකසීමේ දී අප ආයතනය හා අදාළ රාජ්‍ය ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ.  මෙහිදී වෙබ් අඩවියට අදාළ අන්තර්ගතය ලබා දීමේ හා නිරතුරුව යාවත්කාලීන කිරීමේ වගකීම වෙබ් අඩවිය හිමි රාජ්‍ය ආයතනයට ද හිමි වේ.  2011 සැප්තැම්බර් මස රාජ්‍ය අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානයේ ස්ථාපනය කර තිබූ වෙබ් අඩවි කිහිපයක් (ඉතා දුර්වල මුර පද භාවිතාව හේතුවෙන්) සයිබර් ප්‍රහාරයකට හසු වී විකෘති කොට තිබුණි.  මේ නිසා අපගේ වෙබ් ආරක්‍ෂක කණ්ඩායම මේ සඳහා ඉතා දැඩි ආරක්‍ෂක පියවර ගැනීමට තීරණය කරන ලදුව අප විසින් නිකුත් කරන ලද අංකිත අත්සනක් ඇති ලංකා රාජ්‍ය ජාලයට සම්බන්ධ එක් පරිගණකයකින් පමණක් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට පහසුකම් සලසන ලදී. රාජ්‍ය අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානයේ රාජ්‍ය වෙබ් අඩවි 400කට වඩා වැඩි සංඛ්‍යාවක් ස්ථාපනය කර ඇති අතර ඉන් එක් වෙබ් අඩවියක් දුර්වල ආරක්‍ෂක ක්‍රමවේද නිසා ප්‍රහාරයකට විවෘත වුවහොත් එම මධ්‍යස්ථානයේ ඇති සියළුම වෙබ් අඩවි (400) මෙම ප්‍රහාරයට ගොදුරු විය හැක.  එහෙයින් ඉතා දැඩි ආරක්‍ෂක ක්‍රමවේද මෙහිදී අවශ්‍ය වේ.  මේ නිසා 2011-11-08 දින කාළගුණ දෙපාර්තමේන්තුවට අදාළ අංකිත අත්සන යවා ඇතත් එය භාවිතා නොකිරීමත් ඒ ගැන අප ආයතනයෙන් නොවිමසීම/පැමිණිළි නොකිරීම ආදිය නිසා ඔවුන් විසින් වෙබ් අඩවිය යාවත්කාලීන නොකරන ලදී.  අවසානයේ අවාසනාවන්ත ලෙසින් වෙබ් අඩවිය යාවත්කාලීන නොකිරීමේ අභූත චෝදනාවක් නියෝජිතායතනයට නැගිනි.  මෙහිදි වැදගත් වන ප්‍රධාන පණිවුඩය නම් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම එය හිමි රාජ්‍ය ආයතනය සතු බවයි.

අන්තර්ගත කළමනාකරණ පද්ධතියකින් හෙබි රාජ්‍ය වෙබ් අඩවියක් අප ආයතනයෙන් සකසන ලද්දේ නම් එම ආයතනයේ නිලධාරී මඩුල්ලක්ම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සඳහා පුහුණු කොට ඇත.  තව ද එය ජුම්ලා වෙබ් අඩවියක් නම් වෙබ් අඩවි සංවර්ධනය සඳහා ද අවම වශයෙන් නිලධාරීන් දෙදෙනෙකු පුහුණු කර ඇත. මෙම දෙආකාරයෙන් ම කාළගුණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පුහුණු කරන ලදී.

වෙබ් අඩවි සංවර්ධනය සඳහා අපගේ දැක්ම හා ප්‍රතිපත්තිය නම් කුස ගින්නේ සිටින කෙනෙකුට මාළුවෙකු දීමට වඩා මාළු බෑමේ කලාව උගන්වා මාළු පිත්තක් ද ලබා දීමයි.  ඒ අනුව දීර්ඝකාලීන ව රාජ්‍ය අංශයේ වෙබ් අඩවි අවශ්‍යතාව සම්පූර්ණ වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

 

 

5. ප්‍රධාන ඉ-රාජ්‍ය ව්‍යාපෘති
පහත දැක්වෙන ව්‍යාපෘතිවල මෘදුකාංග නිපදවා නියමු ව්‍යාපෘති නිමවා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සූදානම් ය.
   අ. ඉ-ජනගහන ව්‍යාපෘතිය
   ආ. ඉ-විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
   ඇ. ඉ-සමෘද්ධි ව්‍යාපෘතිය
   ඈ. ඉ-ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය
   ඉ. ඉ-ආදායම් බලපත්‍ර ව්‍යාපෘතිය
   ඊ. සහන පශ්චාත් ආපදා කළමණාකරණ පද්ධති ව්‍යාපෘතිය

 

 

6. රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය

 

රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය වසර 5ක් පිරීම හේතු කොටගෙන 2011-10-17 දින 5වන සංවත්සර උත්සවය පවත්වන ලදී.  එහිදී රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කරන ලදී.
එසේ ම රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය සදහා විශිෂ්ඨම අයුරින් සේවා ලබා දුන් ආයතන 5 කට සම්සනෙ පිරිනමන ලදී.

 

 

 

7. යුධ හමුදා යහසාධක අරමුදල් කළමනකරණ පද්ධතිය

අප නියෝජිතායතනය සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය වසර 4ක් තිස්සේ මෘදුකාංග සංවර්ධනය හා පරීක්‍ෂා කිරීම්වල යෙදිනි.  ජනාධිපති ලේකම්තුමා විසින් සපයන ලද අරමුදල්වලින් ද්‍රෘඩාංග හා ජාලය මිළ දී ගෙන සම්පූර්ණ කරන ලද ව්‍යාපෘතිය 2011-11-17 දින එළි දක්වා එම මෘදුකාංග පද්ධතිය යහසාධක අරමුදල් කළමනාකරණ මණ්ඩලයට භාර දෙන ලදී.

 

 

8. රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information System – HHIMS)

අප නියෝජිතායතනයේ ඉ-සමාජ අරමුදල යටතේ මාවනැල්ල හා කරවනැල්ල රෝහල්වල ඉහත පද්ධතිය නිදහස් හා විවෘත මෘදුකාංගයක් ලෙස නිපදවා භාවිතයට ගැණුනි.  මේ සඳහා රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩසටහන සම්පූර්ණ සහාය ලබා දෙන ලද අතර එය දීර්ඝ වැඩසටහනක  ආරම්භයක් බැව් පෙනේ.

 

 

9. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය  සඳහා අංග සම්පූර්ණ වෙබ් අඩවි 2ක් නිර්මාණය කිරීම

මෙම වෙබ් අඩවිය තුලින් විනිශ්චයකාරවරුන්, නීති ක්‍ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන්, නීති සම්පාදකවරු,  ශිෂ්‍යයන් ඇතුළු මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තීන්දු ප්‍රකාශයට පත්කර විනාඩි කිහිපයක් තුලදී ලබා ගැනීමේ හැකියාව ලැබේ. උපරිමාධිකරණයේ දෛනික කාලසටහන අවම වශයෙන් දින 3කට වත් කලින් දැන ගැනීමේ අවස්ථාව මෙමගින් සලසා ඇත. අභියාචනාධිකරණයේ දෛනික කාලසටහන් මාස කිහිපයකට කලින් දැන ගැනීමේ හැකියාව මෙමගින් සලසා ඇත. RSS Feed මගින් ක්‍ෂණික ව වෙබ් අඩවියට ඇතුලත් කරන තොරතුරු එසැනින් ම ලබා ගැනීමට අවකාශ සලසා ඇත.  මෙයට අමතර ව මෙම වෙබ් අඩවියේ අඩංගු ලේඛනවල සඳහන් දෑ සෙවීමේ හැකියාව පරිපූර්ණ සෙවීමේ යාන්ත්‍රනය මගින් කාර්යක්‍ෂම ව සහ ඉතා ඉක්මණින් ලබා ගැනීමේ හැකියා සලසා ඇත.

 

 

10. සම්මන්ත්‍රණ

2011 වසරේ දී ඉ-රාජ්‍ය පිළිබඳ ප්‍රධාන අන්තර්ජාතික සම්මන්ත්‍රණ 2ක් ශ්‍රී ලංකාවේ පැවැත්විනි. 
i.  FutureGov සම්මන්ත්‍රණය 2011
ii. National Workshop on UN eGovernment Survey
iii. FOSS for Government (2011 September)

 

 

ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති සම්මන්ත්‍රණ

 

දිනය
ස්ථානය
2011-02-21 ගාල්ල
2011-03-30/31
පළාත් සභා කාර්යාලය - යාපනය
2011-06-13
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
2011-06-24
පළාත් සභා කාර්යාලය - කොළඹ
2011-07-28
පළාත් සභා කාර්යාලය - රත්නපුර
2011-08-04
ඉදිකරීම් ඉංජීනේරු සෙවා නිවාස හො පෙදු පහසුකම් අමාත්‍යංශය
2011-08-11
උතුරු මැද පළාත් සභා කාර්යාලය - අනුරාධපුර
2011-08-29
නැගෙනහිර පළාත් සභා කාර්යාලය - ත්‍රිකුණාමළය
2011-12-19
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
 2011-12-09
බදුල්ල

 

 

11. ත්‍යාග හා සම්මාන

 2011 වසරේ දී පහත දැක්වෙන සම්මාන අප ව්‍යාපෘති සඳහා ලැබුණි.
1. FutureGov 2011 - ඉ-විශ්‍රාම වැටුප් ව්‍යාපෘතිය හේතු කොට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සාර්ක් කලාපයේ හොඳම ඉ-රාජ්‍ය ආයතනය ලෙස සම්මානයෙන් පුදන ලදී.

2. ඉ-ස්වාභිමානී උළෙලෙදී
ඉ-ප්‍රාදේශීය ලේකම් මෘදුකාංගය, සහන ව්‍යසන කළමනාකරණ ව්‍යාපෘතිය, රජයේ කෙටි පණිවුඩ සේවය GovSMS ව්‍යපෘති සඳහා සම්මාන හිමි විය.

 

 

 

2012 වසරේ දී බලපාපොරොත්තු වන්න

  1. ලංකා රාජ්‍ය ජාලය උතුරු නැගෙනහිරට ද ව්‍යාප්ත වීම හා අන්තර්ජාල සම්බන්ධතාවල ධාරිතාව පුළුල් වීම (අවමය 512 kbps)
  2. ජංගම දුරකතන මගින් රාජ්‍ය සේවා සඳහා මුදල් ගෙවීමට හැකි වීම
  3. අළුතින් ඉ-සේවා 50ක් 2012 වසරේ දී එළි දකිනු ඇත.
  4. රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය -දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන සමාන්තරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් 6කත් තවත් ප්‍රධාන රෝහල් 5කත් 2012 වසරේ දී මෙය ක්‍රියාත්මක වනු ඇත.
  5. ප්‍රධාන ඉ-රාජ්‍ය ව්‍යාපෘති දිවයින පුරා ක්‍රියාත්මක වීම
  6. ප්‍රධාන ව්‍යාපෘති සම්බන්ධිත රාජ්‍ය සංකල්පනා අනුව සංවර්ධනය කිරීම
  7. උපත්, විවාහ හා මරණ සහතික පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය මධ්‍යගත පද්ධතියක් ලෙස සැකසී අන්තර්ජාලය හරහා උපත් සහතික ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසීම
  8. ශ්‍රී ලංකා අවකාශ දත්ත උපරි ව්‍යුහ (Sri Lanka Spatial Data Infrastructure)
  9. ඉ-පළාත් පාළන ව්‍යාපෘති ආරම්භය
  10. පොදු ඉ-මානව සම්පත් කළමනාකරණ පද්ධතිය විහිදීම
  11. සමාජ ජාල මාධ්‍ය භාවිතාව ඉහළ නැංවීම
  12. ලංකා ද්වාර රාජ්‍ය ප්‍රජ්‍ය වළාකුළ (Lanka Gate Government Community Cloud)
  13. විවෘත දත්ත ඇරඹීම

 

වසන්ත දේශප්‍රිය
අධ්‍යක්ෂ - රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීම
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
Last Updated ( Thursday, 19 January 2012 09:25 )  
Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Nenasala Pranama

ICT Agency of Sri Lanka launched “Nenasala Pranama – Swarna Sammana” ceremony in appreciation of the contribution rendered by Nenasala owners / operators for achieving the National objective.

Read More

Latest Events

Awards

Procurement Notices

All Notices and Tenders

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

Stay Connected

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices