

දිවයිනේ පළාත් මට්ටමින් ස්ථාපිත කරන ලද සිව්වන ඉ- දිරිය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සබරගමුව පළාත් කෑගල්ල අධ්‍යාපන කලාප කාර්යාලයේදී විවෘත කෙරිණි.
මෙරට ජනතාවගේ පරිගණක සාක්ෂරතාව සියයට හැත්තෑපහ දක්වා ඉහළ නැංවීමේ අරමුණෙන් ක්‍රියාත්මක ඉ- දිරිය පරිගණක සාක්ෂරතා ක්‍රියාන්විතය යටතේ මෙම පුහුණු මධ්‍යස්ථානය විවෘත කරන ලද බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි.
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු විය.
විවෘත කිරීමෙන් පසු පැවති උත්සවය ඇමැතූ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ පැවසීය.
රාජ්‍ය සේවකයන් කියන්නේ සමාජයේ පෙරගමන්කරුවන් කිව්වොත් එහි වැරුද්දක් නැහැ. එවැනි පිරිසක් සෑම අතින්ම සවිමත්ව සිටීම ඉතා වැදගත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ දැනුම ඒ අතර ප්‍රධානයි. එය අද කාලීන අවශ්‍යතාවයක් ද වී තිබෙනවා. මේ රට දියුණු කරන්න නම් මෙරට ජනතාවගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉතා දුර දක්නා දැක්මක් තිබුණා. එහි ප්‍රතිථලයක් ලෙස පරිගණක සාක්ෂරතාවය මේ වන විට සියයට හතලිහ දක්වා වර්ධනය වී තිබෙනවා. තවත් සිව් වසරකින් එය සියයට හැත්තෑපහ දක්වා ඉහළ නැංවීමයි දැන් අරමුණ වී තිබෙන්නේ.




















