.jpg)
ජංගම දුරකථන අන්තර්ගතයන් ඉහළ නැංවීමට පියවර
ජනතාවගේ දෛනික ජිවිතයට ඵලදායී අන්තර්ගතයන් ජංගම දුරකථනය තුලට ගෙන ඒමේ අරමුණින් ජංගම දුරකථන අන්තර්ගතයන් පුළුල් ලෙස සංවර්ධනය කිරීම කෙරේ අවධානය යොමු කරන කලාපීය සමුළුව හා වැඩමුළුව ලබන මස 10 දා සහ 11 දා කොළඹදී පැවැත්වේ.
ඊට සමගාමීව mBillionth 2010 කලාපීය විශිෂ්ඨ ජංගම දුරකථන අන්තර්ගතයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියද කොළඹදී ආරම්භ වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙම සමුළුව හා වැඩමුළුව තුලින් නිපුණතා ඇති ශ්‍රී ලාංකික තොරතුරු තාක්‍ෂණ හිල්පීන්ට නිර්මාණශීලී ජංගම දුරකථන අන්තර්ගතයන් සකස් කිරීමටද ඉඩ ප්‍රෂ්ථාව සැලසෙන බව ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.
“ජංගම දුරකථන අන්තර්ගතයන් නිර්මාණය කිරීම දැන් මෙම ක්‍ෂේත්‍රයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා. එය විශාල කර්මාන්තයක් මෙන්ම එතුලින් අපගේ දක්‍ෂතා ඇති තොරතුරු තාක්‍ෂණ නිර්මාණ ශිල්පීන්ට කලාපය තුල හොඳ අනාගතයක් ගොඩනගා ගැනීමටද හැකියාව ඇතැයි දේවපුර මහතා පෙන්වා දෙයි.
ලබන මස 10 වැනි දින පැවැත්වෙන සමුළුවේදී විවිධ මාතෘකා රැසක් ඔස්සේ කලාපීය තොරතුරු තාක්‍ෂණ විද්වතුන් රැසක් සිය අත්දැකීම් බෙදා ගැනීමට නියමිතය.
නව ජංගම දුරකථන අන්තර්ගතයන් නිර්මාණය කිරීම හා ඊට අදාල වෙළඳපොල පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගිම එහිදි සිදු කෙරේ.
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සමාගමක් වන එටිසලාට් (Etisalat) සමාගම සහ ලෝ ප්‍රකට ශ්‍රී ලාංකීක මෘදුකාංග සමාගමක් වන ෂෙනිඩ් (hSenid) මොබයිල් සමාගම මෙම සමුළුවේ මූලෝපායික හවුල්කරුවන් වේ.
ජංගම දුරකථන තුලින් දෛනික ජිවිතයට හා සමාජයට ඵලදායි දේ කර ගැනීමට අවශ්‍ය අන්තර්ගතයන් වැඩි වශයෙන් සකස් කිරීම දැන් අත්‍යවශ්‍යව ඇතැයි එටිසලාට් ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද්‍ර රත්නායක මහතා පවසයි. ඒ තුලින් දේශීය තොරතුරු තාක්‍ෂණ ශිල්පීන්ට හොඳ අවස්ථා නිර්මාණය වන අතරම ශක්තිමත් කර්මාන්තයක් බිහිවීමටද එය ඉවහල් වන බව ඔහු පෙන්වා දෙයි.
ජංගම දුරකථන සඳහා විවිධ ප්‍රයෝජනවත් අන්තර්ගතයන් නිර්මාණය ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන පසුබිමක් තුල මෙවැනි සමුළුවක් හා වැඩමුළුවක් කොළඹදී පැවැත්වීම සුවිශේෂී බව hSenid Mobile සමාගමේ පුධාන විධායක දිනේෂ් බී. සපරමාදු මහතා ප්‍රකාශ කළේය. සැමවිටම නිර්මාණශීලී තාක්‍ෂණික විසඳුම් සැකසිමට උනන්දුවක් දක්වන සිය සමාගම මෙම කටයුත්තේදී ක්‍රියාකාරීව දායකත්වය සපයන්නේ එය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් අවශ්‍යතාවක් නිසා බව ඔහු අවධාරණය කරයි.
මෙම සමුළුවට හා වැඩමුළුවට සහභාගිවීමට කැමැත්ත දක්වන අයට ඒ සඳහා www.icta.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ලියාපදිංචි විය හැකිය.
මේ අතර කලාපයේ විශිෂ්ඨතම ජංගම දුරකථන අන්තර්ගතයන් සඳහා සම්මාන පිරිනැමෙන mBillionth 2010 විනිසුරු මඩුල්ලද ලබන මස 10 දා සිට 12 දා තෙක් කොළඹදී සිය විනිශ්චයන් විශ්ලේෂනය කිරීමට නියමිතය. එම තරඟාවලිය සඳහා ද ශ්‍රී ලාංකිකයින්ට සිය ජංගම දුරකථන අන්තර්ගතයන් ඉදිරිපත් කල හැකිය. ඊට අදාල වෙබ් අඩවිය වන්නේ www.mbillionth.in වෙබ් අඩවියයි. මේ සඳහා ඉන්දියාවේ තොරතුරු හා සන්නිවේදන කටයුතු අමාත්‍යංශය මෙන්ම ඩිජිටල් එම්පවර්මන්ට් පදනම (Digital Empowerment Foundation) මූලිකත්වය ගෙන කටයුතු කරයි.



කලාපීය සමුළුව හා mBillionth 2010 විනිසුරු හමුව කොළඹදී


























