තොරතුරු සන්නිවේදන තාක්ෂණය නවෝත්පාදන සතියක්

August 26, 2019

ICT Week

ශ්‍රී ලංකා තොරතුරු, සන්නිවේදන තාක්ෂණය සහ නවෝත්පාදන සතියක් ප්‍රකාශයට පත් කිරීමට ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්තෝබර් 07 සිට 14 වැනි දා දක්වා ශ්‍රී ලංකා තොරතුරු , සන්නිවේදන තාක්ෂණය සහ නවෝත්පාදන සතිය ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා තොරතුරු, සන්නිවේදන තාක්ෂණය සහ නවෝත්පාදන සතිය සමාජ, ආර්ථික වර්ධනය වේගවත්කර ගැනීමේ ආණ්ඩුවේ පුළුල් වැඩපිළිවෙළෙහි වැදගත් පියවරක් බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (22) පැවැති මාධ්‍ය හමුවේදී මේ කරුණු අනාවරණය විය.

ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන් වූ ශ්‍රී ලාංකික සමාජයක් බිහි කිරීම සහ තාක්ෂණය ආර්ථික වර්ධනයට සහාය කර ගැනීමට තොරතුරු, සන්නිවේදන තාක්ෂණය සහ නවෝත්පාදන අතිශය වැදගත් වන බව හඳුනා ගෙන තිබේ. ශ්‍රී ලාංකිකයන් ඩිජිටල්කරණයට පරිණාමනය කිරීම උදෙසා ආණ්ඩුව අවධානය යොමු කර ඇත. මේ කාර්යට කර්මාන්ත, රාජ්‍ය අංශ සහ සමාජයේ අනෙකුත් සියලු පැතිකඩ ආවරණය වන පරිදි උපාය මාර්ගික සංවර්ධන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා බිම් මට්ටමේ සිට ඩිජිටල් භාවිතය වර්ධනය කිරීම, සුහුරු සමාජ කව වැනි වැඩසටහන් මඟින් වෙළඳපොළ පුළුල් කරමින් ව්‍යාවසායකයින් සවි බල ගැන්වීම ඇතුලු පියවර රැසක් අනුගමනය කෙරේ.

වසර 2022 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 05ක අපනයන ඉලක්කයක් ළඟා කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වේ. ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට ආණ්ඩුව පහසුකම් සලසමින් සිටී. ICTA ආයතනය ක්‍රියාත්මක කරන Spiration වැනි වැඩසටහන් නවෝත්පාදන සහ නව ව්‍යාපාරවලට දිරි දෙන පරිසරයක් නිර්මාණය කිරීමට දායක වී තිබේ.

පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවාවක් තුළින් කාර්යක්ෂමතාව සහ සාධනීය බව ඉහළ නැංවීමට උපාය මාර්ගිකව මුලපුරා ඇත. ලංකා රාජ්‍ය මේඝය සහ ලංකා රාජ්‍ය ජාලය මඟින් රාජ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත්කර සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කිරීමේ ජාලයක් සැකසීමට පියවර ගෙන ඇත. සංගෘහිත ඉගෙනුම් කළමනාකරණ වේදිකාවක් හරහා රාජ්‍ය මානව සම්පත් වැඩි දියුණු කිරීමට නව මානයන් සොයමින් පවතී. සයිබර් ආරක්ෂණ පනත හා දත්ත ආරක්ෂණ නීතිකාරකය තුළින් සාර්ථක ලෙස ඩිජිටල් නීති රාමුව ශක්තිමත් කර තිබේ.

පුරවැසියන්ගේ දෛනික ජීවිතයට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනය කිරීමත්, නවෝත්පාදන සංස්කෘතියක් බිහි කිරීමත්, ආයෝජකයන් සහ අනෙකුත් රටවල විශේෂ අවධානය යොමුකර ගැනීමත් මෙහි අරමුණු වේ. ජපානය, නෝර්වේ, නෙදර්ලන්තය හා පින්ලන්තය වැනි ලෝකයේ බොහෝ රටවල් ඒ සඳහා වෙන් වුණු සුවිශේෂි සතියක් බවට ශ්‍රී ලංකා තොරතුරු, සන්නිවේදන තාක්ෂණය සහ නවෝත්පාද සතිය පත්වනු ඇත. ඩිජිටල්කරණය තුළින් දැනුම පාදක සමාජයක් බිහිකිරීම උදෙසා රජයේ දැක්ම මූලිකකර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහාකාර ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ICTA හි ජ්‍යෙෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා, BCS හි හිටපු සභාපති රුවන් අමරසේකර, CSSL හි සභාපති ප්‍රභාත් සමීන්ද්‍ර, SLASSCOM හි සභාපති රනිල් රාජපක්ෂ, FITIS හි අබ්බාස් කම්රුදීන් , Womens Chamber for Digital සභාපතිනි ජයෝමි ලොකුලියන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපසමන් ශ්රී වෙදගේ

Top