ඈත අතීතයේ ගල්ඔය මහවැලි වැනි යෝධ වාරිමාර්ග ව්‍යාපෘති වලට ඉඩම් හඳුනා ගැනීමට හා ඒවා මැනීම කළ යුතු වූයේ අලි කොටි ගහන මහ කැලෑ මැද පාගමනින් ගමන් කරමින් එහි යාමෙන් පමණි. එකල අද මෙන් නව තාක්ෂණ ක්‍රම නොතිබූ අතර එලෙස පා ගමනින් ගොස් ඉඩම් මැනීම නිසාම ඒ කටයුතු කළ මිනින්දෝරුවන්ට පමණක් නොව ව්‍යාපෘති බාර ඉංජිනේරුවන්ට මැලේරියාව පවා වැලඳුණු අවස්ථා තිබිණි.
නමුත් අද අපේ රටේ තොරතුරු තාක්ෂණ කටයුතු ලොව ඉහළම මට්ටමට පැමිණ තිබෙන නිසා අලුත් ව්‍යාපෘති කිරීමේදි පෙර පරිදි දුක් විඳීමට අවශ්‍ය නොවේ.
අපේ රටේ සංවර්ධන යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ලොව කොතැනක සිට වුවද ඊට අදාළ ස්ථානය පිළිබඳ සියලු තොරතුරු ලබා ගැනීමට හැකි වෙබ් අඩවියක් දැන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ICTA නිර්මාණය කර ඇත.
මේ පිළිබඳව අපට කරුණු පැහැදිලි කරන එහි වැඩසටහන් කළමනාකර ඉඳුමිනි කොඩිකාර මහත්මිය පැවසුවේ මේනව වෙබ් අඩවිය ශ්‍රි ලංකා ජාතික අවකාශීය දත්ත යටිතල පහසුකම් පද්ධතිය (nsdi) ලෙස නම් කර ඇති බවයි.
“අපේ රෙට් වැඩිම සිතියම් ප්‍රමාණක් ඇත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුවයි. ඊට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියේ ඇති පාරවල සිතියම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර පිළිබඳ සිතියම් තිබෙනවා. ඒ වගේ එක එක ආයතනවල ඔවුන්ට අදාළ සිතියම් තිබෙනවා. ඒ වගේ ආයතන 25ක අයට විවිධ විෂයයන් 125ක සිතියම් එක්කර තමයි අපි මේක හැදුවේ. ඒ අනුව මේ අලුත් අවකාශීය දත්ත යටිතල පහසුකම් පද්ධතිය මඟින් ඒ සියලු විෂයයන්වලට අදාළ සිතියම් තොරතුරු එකම පරිගණක තලයකින් බලාගන්න පුළුවන්.
රාජ්‍ය ආයතන 25ක විෂය විවිධ විෂයයන් පිළිබඳ සිතියම් ස්තර 125 ක් පමණ මෙම නව වෙබ් අඩවිය සඳහා එකතු කර තිබෙනවා. ඒ අනුව යම් එක් ප්‍රදේශයක තිබෙන සියලුම මාර්ග පාසල්, වෙළෙඳසල්, රෝහල්, සියලු යටිතල පහසුකම් වල තත්ත්වය ලැබෙන විදුලි බලධාරීතාව ජල ධාරිතාව ආදිය ද මේ සිතියම් වෙබ් අඩවිය මගින් දැනගත හැකියි” කොඩිකාර මහත්මිය පවසන්නේ ය.
ඒ අනුව මේ තොරතුරු www.nsdi.gov.lk වෙබ් අඩවිය මගින් හා හෝ www.geoportal.nsdi.gov.lk යන වෙබ් අඩවියට පිවිසියොත් ලබාගත හැකි ය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍යායතනය මඟින් ක්‍රියාත්මක කෙරෙන ජාතික මට්ටමේ වැඩසටහනක් වන අවකාශීය දත්ත යටිතල පහසුකම් පද්ධතිය (Sri lanka National Spatial Data Infrastructure) තුළින් අවකාශීය දත්ත හුවමාරු කිරීම, කළමනාකරණ කටයුතු පහසු කර ගැනීම සහ ජාතික වශයෙන් වැදගත් වන සැලසුම් හා සංවර්ධන කටයුතු සඳහා ඵලදායි තීන්දු තීරණ ගැනීම වඩා පහසු කරයි.
මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ විසිරී ඇති අවකාශීය දත්ත එක් රැස් කර අන්තර්ජාලීය යටිතල පහසුකම් පද්ධතිය මඟින් ඕනෑම කෙනෙකුට අවකාශීය දත්ත ලබා ගැනීමේ හා එම දත්ත විශ්ලේෂණය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
එමෙන් ම නිරන්තරයෙන් යාවත්කාලීන වූ නිවැරදි භූගෝලීය තොරතුරු ලබාගැනීම මෙන් ම ආයතන කිහිපයක් අතර පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමේ දැනට පවතින ඇතැම් දුෂ්කරතා මෙම ව්‍යුහයත් සමඟ මග හැරී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ජාතික අවකාශීය දත්ත යටිතල පහසුකම් පද්ධතිය වඩාත් සාර්ථකව හා ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යය වන්නා වූ නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුවක් ඇති කිරීම ද මෙයට සමගාමීව සිදු කෙරෙන්නා වූ තවත් ක්‍රියාවලියකි. තවද මෙමඟින් අවකාශීය දත්ත බාධාවකින් තොරව හුවමාරු කර ගැනීමට පහසුවන ප්‍රතිපත්ති රාමුවක් ද සකස් කිරීමට අපේක්ෂා කෙරේ.
එක් එක් රාජ්‍ය ආයතන සතුව මෙතෙක් පැවැති අවකාශීය දත්ත මෙම නව වෙබ් අඩවියත් සමඟම එක් පද්ධතියකට එක් කරමින් පවතී. තම ආයතන සතු අවකාශීය දත්ත මෙයට එක් කිරීම දැන් රජයේ සෑම ආයතනයකටම පැවරී ඇති වගකීමක් ලෙස සැලකිය යුතු ය. ඉදිරියේදී පෞද්ගලික අංශයත් මෙයට සහභාගි කරගැනීමට අපේක්ෂා කරයි. මේ පිළිබඳව වැඩි විස්තර දුරකථන අංක 0112369099 මඟින් දැනගත හැකියි.
යම් සුවිශේෂී ස්ථානයක් පිළිබඳව අපට සෙවීමට අවශ්‍ය නම් එම ප්‍රදේශය මෙම වෙබ් පිටුවේ සිතියමේ හතරැස් ලෙස හෝ රවුම් ලෙස ලකුණු කළ විට ඒ ස්ථානය පිළිබඳව සියලු භෞතික ජීව විද්‍යාත්මක හා යටිතල පහසුකම් පිළිබඳව සියලු විස්තර ලබාගත හැකි යි.
එමෙන් ම යම් ප්‍රදේශයක් පිළිබඳව සොයන විට එහි ජනගහනය, පාසල් ගණන හා ශිෂ්‍ය සංඛ්‍යාව, වර්ග ප්‍රමාණය ආදිය පිළිබඳව පවා තොරතුරු අපට දැනගත හැකි ය.
රටේ සමහර දෙපාර්තමේන්තු හා ආයතන තමන් සකස් කර ඇති තම විෂයයට අදාළ සියලු සිතියම් හා අලුත් දත්ත මේ නව වෙබ් අඩවියට ලබාදී නොමැති නම් ඉක්මනට ලබාදිය යුතු ය. එය රටටම ලොකු සෙතකි.
මේ අලුත් වෙබ් අඩවියේ ඇති සිතියම් ස්තර ගණන උපයෝගි කර ගනිමින් යම් ප්‍රදේශයක සංවර්ධන කටයුත්තක් කිරීමට සැලසුම් සකස් කරන විට ඊට අදාළ භෞතික හා භූමිය පිළිබඳ තොරතුරු ද මේ වෙබ් අඩවිය මඟින් බලා ගත හැකි ය. ඊට අමතරව අදාළ ප්‍රදේශය තුළ වන භූමි තිබේද ජලාශ තිබේද, සතුන් ගැවසෙන ස්ථාන තිබේද, පුරාවිද්‍යා ප්‍රදේශයක් ද යන්න පිළිබඳව පමණක් නොව එහි සිටින ජනතාවගේ ප්‍රමාණය හා ඔවුන්ගේ විෂය මට්ටම් පවා ලබාගත හැකිය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දත්ත තොරතුරු මේ නවමු වෙබ් අඩවිය සඳහා යාවත්කාලීන කරමින් ලබාදීම ද කළ යුතුව ඇත.
අද වත්මන් රජයේ ප්‍රධාන අපේක්ෂාවක් වන තොරතුරු තාක්ෂණය මඟින් රට දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ නව වෙබ් අඩවියේ ප්රතිලාභ ද මඟින් රටේ ඉදිරි සංවර්ධන කටයුතු වේගවත් වනු ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අපේක්ෂා කරයි.
මේ නව වෙබ් අඩවිය පරිශීලනය ‘ගූගල්’ සිතියම් පරිශීලනයට වඩා පහසුය. නවීන තොරතුරු ලබාදෙන කාර්යයකි. ඉදිරියට තවත් අපේ රටේ තොරතුරු ලැබුණු වහාම ඊට යොමු කරලීමට අපේක්ෂා කරයි.
ඒ සමඟම මෙම වෙබ් අඩවියේ ඇති ආපදා කළමනාකරණ සිතියම් ස්තරයේ තොරතුරු අනුව රටේ යම් ස්ථානයක ගංවතුර නායයාම් වැනි ආපදාවන් සිදුවූ විට ඉන් පීඩාවට පත් ජනතාව පිළිබඳ තොරතුරු අවතැන් වීමට ඉඩ ඇති ජනතාව පිළිබඳ තොරතුරු විනාශවීමට ඉඩ ඇති පාසල් රෝහල් ආගමිත ස්ථාන පොදු ආයතන පිළිබඳ සියලු විස්තර ඈතක සිට වුවද පැහැදිලිව පරිශීලනය කිරීමට පුළුවන. ඒ අනුව අවශ්‍ය බේරා ගැනීමේ කටයුතු අවශ්‍ය ආහාර ලබාදීම වැනි කටයුතු කිරීම එකම ස්ථානයකින් සිදු කිරීමේ වැඩපිළිවෙළකින් යුක්තව සැලසුම් කළ හැකිය.
මේ නව වෙබ් අඩවිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මඟින් රටේ ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් දැනට සිදු කෙරී ඇති සත්‍යය මට්ටම රටේ ජනාධිපතිතුමාට පවා තම කාර්යාලයේ සිටම බලාගැනීමට හැකිවේ. දැනට මෙවැනි වෙබ් අඩවියක් දියුණු කිරීම මඟින් අන්ද්‍රා ප්‍රදේශ ප්‍රධාන අමාත්‍යතුමා තම බල ප්‍රදේශයේ සිදුවන සියලු සංවර්ධන කටයුතු පිළිබඳව තොරතුරු තම අත ඇති ජංගම දුරකථනයෙන් බලා ගැනීම සිදු කරනු ලැබේ.
ඒ අනුව මේ නව වෙබ් අඩවිය ප්‍රවර්ධනය කිරීමට ඊට දත්ත ලබා දීමේ රටේ සියලු ආයතන උදව් උපකාර ලබාදිය යුතුය. එය රටේත් ජනතාවගේ දියුණුවට මඟකි.
මූලාශ්‍රය : www.silumina.lk