අද බොහෝ දෙනකුගේ කාලය ගෙවී යන්නේ “ඔන් – ලයින්” තුළය. කෙනෙකු යූ ටියුබ් ඔස්සේ චිත්‍රපට නරඹන අතර තවත් අයෙක් ගීතවලට සවන් දෙති. සමහරු මුහුණු පොතේ ගිලී සිටිති. ඔවුන්ට බස්රිය, දුම්රිය කියා වගක් නැත. සිටගෙන හෝ ඉඳගෙන කියා වෙනසක් නැත. තරුණ පරම්පරාවට නම් කන බොන වේලාව කියා හෝ ඉන් මද වේලාවකට මිදෙන්නට සිතක් නැත. කවුරුත් ඔන්- ලයින්ය. ත්‍රීරෝද රථ රියැදුරන්, වෛද්‍යවරුන් හමුවීමට යන රෝගීන් පවා තම වාරය පැමිණෙන තුරු සිටින්නේ ඔන් – ලයින් තුළ සිරගත වීගෙනය. වර්තමානය වන විට භාණ්ඩ ඇණවුම් කිරීමටත් නිවාස දේපළ සහ වාහන විකුණා ගැනීමටත් ඔන් – ලයින් ප්‍රයෝජනයට ගන්නා පිරිසක් සිටිති.
එහෙත් පැය 24 පුරාම “ඔන් – ලයින්” සිටියත් බොහෝ දෙනකු එය සිය ජීවිතය පහසු කරගැනීමට යොදා ගන්නා බවක් පෙනෙන්නට නැත. වැඩි දෙනෙකු සිදු කර තිබෙන්නේ ඩේටා සඳහා මුදල් සහ කාලය නාස්ති කර ගැනීම පමණි.
අප එසේ සඳහන් කරන්නේ “ඔන් – ලයින්” මඟින් මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම වසර 10 ක පටන් ලංකාවේ ක්‍රියාත්මක වුවද තවමත් එම සේවය ලබාගෙන තිබෙන්නේ 3% ක් වැනි සුළු පිරිසක් වන නිසාය.
මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර ඔන්- ලයින් මඟින් ලබාගැනීමේ පහසුකම මෙරට ආරම්භ වූයේ 2009 වර්ෂයේදීය. එහෙත් එදා එය බස්නාහිර පළාතට පමණක් සීමා විය. නමුදු 2015 වර්ෂය වන විට දිවයින පුරා විසිරී සිටින අයට මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර අලුතෙන් ලබා ගැනීමටත් පරණ බලපත්‍රය අලුත් කිරීමටත් හැකි E revenue licence හෙවත් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සේවය ව්‍යාප්ත විය. මේ වන විට ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සේවාවට වසර 10 ක් සම්පූර්ණ වී තිබේ.
“සාමාන්‍යයෙන් වාහන ආදායම් බලපත්‍රයක් ගන්න යනවා නම් වාහන ලියාපදිංචි සහතිකය, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය, දුම් සහතික වගේ ලිය කියවිලි ෆයිල් එකක් ගෙනියන්න ඕනෑ. පෝලිමේ ඉන්න ඕනෑ. හදිස්සියේවත් ලියවිල්ලක මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් ආයෙමත් දවසක එන්න ඕනෑ. ඒත් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව මඟින් විනාඩි 2ක් වැනි සුළු කාලයකින් ගෙදර ඉදලා බලපත්‍රය ගන්න පුළුවන්. කාලය සහ ධනය ඉතිරි වෙනවා. ඒ නිසයි අපි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර හඳුන්වා දීමේ වැඩපිළිවෙළකට ගියේ.” යනුවෙන් සඳහන් කළේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ(ICTA) උපදේශක උදය කස්තුරිරත්න ය.
E – Revenu Licence හෙවත් ERL ක්‍රමයට පිවිසීම සඳහා gov.lk වෙත පිවිසිය යුතුය. ඉන්පසුව erevenulicence යනුවෙන් සටහන් කර ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව සඳහා ඇතුළු විය හැකිය. මෙහිදී ඔබේ විද්‍යුත් තැපෑල හෙවත් ඊ – මේල් ලිපිනය අත්‍යවශ්‍ය වේ. මෙම ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී වාහනයේ අංකය සහ ආදායම් බලපත්‍ර අංකය පමණක් සටහන් කිරීමට සිදු වේ.
ඉන්පසුව වාහනය රක්ෂණය කර තිබෙන සමාගම් නම සහ දුම් පරීක්ෂණ ආයතනයේ නම ඉල්ලා සිටිනු ඇත. එවිට එම විස්තර ඇතුළත් කළ යුතුය. එම අවස්ථාවේදී දුම් පරීක්ෂණ සහතිකය හෝ රක්ෂණ සහතිකය ලබාගෙන නැති නම් ඒ බව පරිගණක තිරයේ දිස් වේ. එකී තොරතුරු නිවැරදි නම් පමණක් ඉදිරියට යෑමට අවස්ථාව ලැබේ.
ERL ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ගෙවීම් සිදු කළ යුත්තේ ක්‍රෙඩිට් කාඩ්පත් මඟිනි. ඉන්පසුව ඔබේ ඊ- මේල් ලිපිනයට තාවකාලික ආදායම් බලපත්‍රයක් ලැබේ. ඔබ කළ යුත්තේ එහි පිටපත් ලබාගෙන සුරැකිව ළඟ තබා ගැනීම පමණි. ඔබේ ස්ථිර ආදායම් බලපත්‍රය දින කිහිපයක් ඇතුළත තැපෑලෙන් ඔබේ නිවසටම ලැබෙනු ඇත. එතෙත් ඔබේ ඊ- මේල් ලිපිනයට එව් තාවකාලික ආදායම් බලපත්‍රය පාවිච්චි කළ හැකිය.
ERL ක්‍රමයට මෝටර් රථ වාහන ආදායම් බලපත්‍රය නිවසේ හෝ කාර්යාලයේ සිට ලබාගත හැකිය. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගොස් පෝලීම්වල වරු ගණන් ගත කරමින් රස්තියාදු විය යුතු නැත. කාලය ඉතිරි වේ. ධනය ද ඉතිරි වේ. නමුත් වාහන ආදායම් බලපත්‍ර මිලියන 6ක් ලබා ගන්නා අපේ රටේ ERL ක්‍රමයට ආදායම් බලපත්‍ර රැගෙන තිබෙන්නේ 3% ක් පමණි. දිවා රෑ නොතකා ඔන් – ලයින් ගැලී සිටින පිරිසක් සිටින අපේ රටේ, ඔන් – ලයින් ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමට යොමු නොවීම නම් ඇත්ත වශයෙන්ම කනගාටුදායකය.
“ඔන් – ලයින් මඟින් රථවාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම ගැන ගොඩාක් දෙනා දැනුවත් වී නැති බවක් අපට පෙනෙනවා. ඒ නිසා මේ ගැන අපි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මඟින් දැනුවත් කර තිබෙනවා. ඒ වගේම තමයි සමහරු ඔන් – ලයින් හිටියාට ඔන් – ලයින් ඉන්නේ කියලා දන්නේ නැතිකම. මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. අපි එක්තරා පරීක්ෂණයකට සහභාගී වූ තරුණ කණ්ඩායමකගෙන් ඔන් – ලයින් ගැන ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒ අය ඔන් – ලයින් යන්නේ නැහැ කිව්වා. ඒ ගැන විශ්වාසයක් නැති බව පෙන්නුවා. බියකුත් තිබුණ බව අපිට පෙනුණා. ඊට පස්සේ මම ඇහුවා ෆේස්බුක් නැද්ද කියලා. ෆේස්බුක් ඉන්නවා කිව්වා. යූ ටියුබ් යනවා කිව්වා. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඒ දේවලුත් අයිති ඔන් – ලයින් එකට කියලා.” යනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ උපදේශක උදය කස්තුරිරත්න පැවසුවේ සිනාසෙමිනි.
ඔන් – ලයින් කෙරෙහි ඇති බිය සහ විශ්වාසයක් නැතිකම සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ගනුදෙනු නොකරන පිරිස් සමාජයේ බහුලව සිටීමද ERL ක්‍රමය මඟින් වාහන ආදායම් බලපත්‍ර ලබා නොගැනීමට හේතු වී තිබේ. විශේෂයෙන් ත්‍රීරෝද රථ රියදුරන් වෑන් සහ කුඩා ලොරි හිමියන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගනුදෙනු කරන්නේ නැත. ඔවුන්ගේ ඊ – මේල් භාවිතයක් ද නැත. ලීසිං ක්‍රමයට ත්‍රීරෝද රථයක් හෝ ඩීමෝ බට්ටා වැනි ලොරියක් මිල දී ගෙන කුලී රථ සේවයේ යෙදෙන ඔවුන් ක්‍රෙඩිට් කාඩ් මඟින් ගනුදෙනු කරන කාල වකවානුවක් ගැන තවමත් පැහැදිලි අදහසක් අපට නැත. අනෙක, ERL ක්‍රමයට අනුව වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැක්කේ නිවසේ හෝ කාර්යාලයක තිබෙන පරිගණකයකින් පමණි. බොහෝ ත්‍රීරෝද රථ රියදුරන් ජංගම දුරකතනයෙන් අන්තර්ජාලයේ සැරිසැරුවද නිවෙස් තුළ පරිගණක නැත. එකී කාරණයද ERL ක්‍රමයට වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට යොමු වීම ඈත් කරන සාධකයක් වී ඇත.
“අවුරුදු 10 ක් තිස්සේ ERL ක්‍රමය ගැන අවධානය යොමු කළ මෝටර් රථවාහන බලපත්‍ර දෙපාර්තමේන්තුව මෙහි අඩුපාඩු සහ වැඩි දියුණු කළ යුතු කරුණු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අපි 2020 දී මෙය තවත් වැඩි දියුණු කර හඳුන්වා දෙනවා. අලුත් ක්‍රමයට අනුව වාහනයේ අංකය විතරයි ඇතුළත් කළ යුතු වන්නේ. එවිට මෘදුකාංගය විසින් රක්ෂණ බලපත්‍ර, දුම් සහතික වැනි ඒ වාහනයට අදාළ සියලුම තොරතුරු ලබා දෙනවා. එයින් තවදුරටත් කාලය ඉතිරි කරනවා. ඒ වගේමයි මෙය ඇප් එකක් විදිහට හඳුන්වා දෙනවා. එවිට ජංගම දුරකතනයට ඇප් එක දාගෙන එයින් වාහන ආදායම් බලපත්‍ර අලුත් කර ගන්න පුළුවන්.” යනුවෙන් උපදේශක උදය කස්තුරිරත්න පැවසීය. එය නිවසේ පරිගණක නොමැති ත්‍රිරෝද රථ රියදුරන් වැනි වාහන හිමියන්ට සුබ පණිවිඩයක් වනු ඇත.
ERL මඟින් වාහන ආදායම් බලපත්‍රය ලබාගෙන තාවකාලික පිටපතක් ළඟ තබා ගැනීමට පෙර ඔහුව පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූවා යැයි අපි සිතමු. එවැනි අවස්ථාවක 1919 ට කෙටි පණිවිඩයක් යැවීමෙන් වාහන ආදායම් බලපත්‍රය ලබාගත් බවට තහවුරු කෙරෙනු ඇත. මෙසේ තහවුරු කිරීම සඳහා රියදුරුට ලැබෙන කෙටි පණිවිඩය, පොලිස් නිලධාරීන් පිළිගැනීමට තරම් කාරුණික විය යුතුය. යම් හෙයකින් පොලිස් නිලධාරීන් මේ පිළිබඳව දැනුවත් වී නොසිටියේ නම් අපහසුතාවට පත් වන්නේ වාහන හිමියාය.
“අපේ රටේ තවමත් දකින්න ලැබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගිහින් වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රමයට යොමු වුණ පිරිස. ඒත් දැන් ඒ අයවත් රස්තියාදු නොකර විනාඩි ගණනකින් අවශ්‍යතාව ඉෂ්ට කර දීමට අපිට හැකි වී තිබෙනවා. ඒ, රථවාහන ගැන සියලුම විස්තර පරිගණකගත කර තිබෙන නිසාය. රක්ෂණ සමාගම්වල තොරතුරු, දුම් පරීක්ෂණ තොරතුරු සියල්ලම මෝටර් රථ වාහන බලපත්‍ර දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී තිබෙනවා. පරිගණකගත කළ තොරතුරු ජාලයක් හැටියට ක්‍රියාත්මක වන නිසා 2020 සිට කොළඹ වාහන හිමියකුට ත්‍රිකුණාමලයෙන් වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.” යනුවෙන් තවදුරටත් විස්තර කළේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ උපදේශක උදය කස්තුරිරත්නය.
නව යුගයක උදාවක් සමඟ ඩිජිටල්කරණයට පිවිසීම ජාතික ප්‍රතිපත්තියක් වී තිබෙන මොහොතක රථවාහන ආදායම් බලපත්‍රය නිවසේ සිට ලබාගත හැකි ආකාරයට පහසුකම් සලසා දීම ඉතාමත් ප්‍රයෝජනවත් කාර්යයකි. එහෙත් එය සමාජගත කිරීම ද අනිවාර්යයෙන් සිදු විය යුතුය.
මූලාශ්‍රය: www.silumina.lk