අගෝස්තු 2, 2015
2015 ජුලි 28වැනිදා අරලියගහ මන්දිරයේදී ගූගල් සමාගමත් ශ්‍රී ලංකා රජයත් අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම ඇති කර ගැනීමට මූලිකවූ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ප්‍රකාශ කළේ මෙයින් විශේෂයෙන්ම සබැඳි පාඨමාලා අනුගමනය කළ හැකි තරුණයන් ඇතුළු සියලු දෙනාටම දිවයින පුරා අන්තර්ජාල පහසුකම් ලැබීමෙන් සෙතක් සැලසෙන බවයි.
මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වන්නේ මේ රටේ ගූගල්ලූන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. මෙය සිදු වූයේ හිටපු ෆේස්බුක් විධායකයෙකු හා වර්තමානයේ ලෝටස්ෆෙලයර්නම් ජංගම උපකරණවලට අන්තර්ගතය සපයන සමාගමක සභාපති වන චමත් පළිහපිටිය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක දී අහම්බෙන් හමුවීමෙන් බව රුවන් විජේවර්ධන මහතා කියා සිටියේය.
“ගූගල්ලූන් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ගෙන ඒමත් එහි ඇති ප්‍රයෝජනත් ගැන අපි හමුවූ අවස්ථාවේ සාකච්ඡා කළා. මූළු දිවයිනට ම අන්තර්ජාල පහසුකම් ඇති විට එය සෑම දෙනාටම ප්‍රයෝජනවත්වේවි“ යයි ඔහු කියා සිටියේ ය. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළු වන්නේ තරුණ ප්‍රජාවෙන් 10% ක් පමණක් බවත් 20%ක් පමණ පුද්ගලික ආයතනවල උසස් අධ්‍යාපනය ලබන බවත් ප්‍රකාශ කල ඔහු පෙන්වා දුන්නේ තරුණයන් විශාල ප්‍රතිශතයක් අවස්ථා නැති කම නිසා අධ්‍යාපනය අත් හැර දමන බවයි.
පසුව මේ සඳහා ජනාධිපතිතුමා හා අගමැති තුමා සමග සාකච්ඡා කර ඔවුන්ගේ අනුමැතිය ලබාගත් බවත් මෙය රජයේ නොමිලේ වයි-ෆයි පහසුකම් සැපයීමේ වැඩසටහනට සම්බන්ධ බවත් විජේවර්ධන මහතා කියා සිටියේය. “මෙම ව්‍යාපෘතිය එම සිහිනය සැබෑ කර ගැනීමේ එක් පියවරක් වන අතර මෙය අධ්‍යාපනික අවස්ථා උදා කරමින් තරුණයන් සවිබල ගන්වන බව“ ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ සමහර කොටස්වලට අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි වුවත් 2011 වර්ෂයේ දී එක්සත් ජාතීන් විසින් “මානව අයිතිවාසිකමක්“ ලෙස ප්‍රකාශ කර ඇති මෙම ගෝලීය පද්ධතියට සම්බන්ධවීමට තවමත් සැලකිය යුතු සංඛ්‍යාවකට පහසුකම් නැත. අවාසනාවකට මෙන් අන්තර්ජාල පහසුකම් නැති මෙම කණ්ඩායම රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් සැපයිය හැකි කොටසද වේ.
මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළේ ගූගල්ලූන් ව්‍යාපෘතියේ ප්‍රධානී සහ ගූගල් සමාගමේ උප සභාපතිවරයෙකු වන මයික්කැසිඩි විසිනි. ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද්දේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසිනි.
මෙය බැලුනයෙන් බැලුනයටත්, එමෙන්ම පොළොවටත් 4G පුළුල් කලාප සංඥා බෙදාහැරිය හැකි පද්ධතියකි. එක් බැලුනයකින් වර්ග මීටර 60-70ක ප්‍රදේශයක් ආවරණය වන අතර කිලෝමීටර් 20ක් පමණ ඉහළ අහසේ මෙවැනි බැලුන 15ක් ස්ථාන ගත කෙරෙනු ඇත. මෙය සාමාන්‍යයෙන් ගුවන් යානයක ගමන් කරන උසට වඩා දෙගුණයකි. මෙම බැලුනයක් පළලින් මීටර 15ක්ද උසින් මීටර 12ක් පමණ ද වන අතර තාක්ෂණය අඩංගු ග්රෑම් 10ක කුඩා පෙට්ටියක් එයට සම්බන්ධ කරනු ඇත.
සෑම දින 90-100 කට වරක් මෙම බැලුන් නඩත්තු කටයුතු සඳහා පහතට ගෙනෙනු ඇත. මෙම ව්‍යාපෘතියේ එකම අරමුණ වන්නේ කිසිම පිරිවැයකින් තොරව හෝ ඉතා අඩු මිලකට හෝ අඛණ්ඩව අන්තර්ජාල සේවා ලබා දීමයි.
“මෙහි දී අපි යොදා ගන්නේ ලොව පුරා විදුලි සංදේශ සමාගම් භාවිතයට ගන්නා (LTE) තාක්ෂණයයි මේ නිසා නව සපන් දුරකථනයක් ඇති ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයට පිවිසීමට හැකි වනු ඇත. අප කරන්නේ දේශීය විදුලි සංදේශ සමාගම් සමග සම්බන්ධ වීමයි. නවසීලන්තයේ අපි වොඩාෆෝන් සමාගම සමග එක්වී කටයුතු කරමු“ යයි කැසිඩි මහතා ප්‍රකාශ කළේය.
මෙම වර්ෂයේ දෙසැම්බරයේදී මෙම ව්‍යාපෘතියේ අත්හදා බැලීම් සිදු කරන අතර මාස 18ක් හෝ අවුරුදු දෙකක් ඇතුළත මුළු රටටම ඒ මගින් අන්තර්ජාල පහසුකම් ලැබෙනු ඇත. විජේවර්ධන මහතා හා කැසිඩි මහතාට අමතරව මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි මුහුන්තන්කනගේ, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, විදේශ කටයුතු හා විදුලි සංදේශ අමාත්‍ය මංගල සමරවීර හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ද සහභාගි වූහ.