ප්‍රතිකාර සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ-චැනලින් සේවාව( e channeling) රජයේ රෝහල් සඳහා ද හදුන්වා දීමට පියවර ගැණේ.
දොම්පේ දිසා රෝහල සඳහා මෙය පළමු වරට හදුන්වා දුන් අතර අදියර කිහිපයක් ඔස්සේ දිවයිනේ සියළුම රජයේ රෝහල් වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක වේ.
මෙම ඉ-චැනලින් සේවාව නිසා බාහිර ප්‍රතිකාර අංශය සඳහා පැමිණෙන රෝගීන්ට කලින් වේලාවක් වෙන්කරවා ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයා හමුවට පැමිණිය හැක.
මේ අනුව 0715 225225 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ www.echannelling.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඉ-චැනලින් ඇප් එක සිය ජංගම දුරකථනයේ ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම ලබා ගත හැක.
මෙම සේවාව දොම්පේ රෝහලේදී නිල වශයෙන් ආරම්භ කිරීම ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී අදහස් දැක්වු හරීන් ප්‍රනාන්දු මහතා: “මෙම ඉ-චැනලින් සේවාව රාජ්‍ය රෝහල් ක්ෂේත්‍රයේ විශාල පරිවර්ථනයකට හේතු වේවි. අනාගත පරපුර මෙන්ම වත්මන් තරුණ පරපුර අද අපි මේ කරන දේවල් අගය කරාවි. ඉදිරියේදී ඈත දුර බැහැර රෝහලක රෝගියෙකුට කොළඹ මහ රෝහලට පැමිණෙන විට තමාගේ රෝගී තොරතුරු වාර්තා රැගෙන ආයුතු වන්නේ නැහැ.ඒ සියළු තොරතුරු අන්තර්ජාලය හරහා තමයි හුවමාරු කරගන්නේ. දැනටමත් ඩිජිටල් ක්‍රමවේදය එක්ස්-රේ සඳහා යොදා ගැනීම නිසා රුපියල් මිලියන ගණනක් රජයට ඉතිරි කර ගැනීමට හැකිවී තිබෙනවා.”
මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා: “මෙම වැඩසටහන නිසා වඩා හොද කාර්යක්ෂම සේවාවක් රෝගීන්ට ලබාදීමට හැකිවී තිබෙනවා. ඒවගේම තමයි රෝහල් කාර්යය මණ්ඩලයටත් මෙමගින් වාසි රැසක් අත්වෙනවා. ප්‍රධාන වාසිය තමයි කරන වැඩ නැවත නැවතත් වාර්ථා තැබීමට අවශ්‍යය වන්නේ නැහැ. නිරන්තරයෙන්ම එය දත්ත ගබඩාවක එක් රැස්වනවා. දැන් අප හමුවේ විශාල අභියෝගයක් තිබෙනවා. ඒ තමයි මෙවැනි ව්‍යාපෘති ඔස්සේ එක් රැස්වෙන දත්ත ආරක්ෂාකාරීව පරිහරණය කරන්නේ කෙසේද කියන එක. අනිත් එක තමයි එක් එක් පුද්ගලයාට අදාල පුද්ගලික දත්ත. එයත් වගකීමක් සහිතව සිදු කල යුතු දෙයක්. සියළු කාරණා සැලකිල්ලට ගනිමින් දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපේ අවධානය යොමුවී තිබෙනවා. අපට දැන් පොතපතේ දැනුම පමණක් නොවෙයි මෙවැනි ව්‍යාපෘති නිසා ප්‍රායෝගික අත්දැකීම්නුත් අපට තිබෙනවා. අපේ බලාපොරොත්තුව තමයි රටට විතරක් නෙමෙයි ලෝකයටත් පුර්වාදර්ශයක් වන ආකාරයෙන් දත්ත ආරක්ෂණ ක්‍රම වේදයක් සකස් කිරීම.”
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු ශ්‍රීයානන්ද රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.