ප්‍රතිපත්ති

ඉ-රාජ්‍ය වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිදියුණු කරන අතර වඩා හොඳ පුරවැසි සේවා සැපයීමයි. ඉ-රාජ්‍ය කටයුතු විධිමත් හා ඒකීය ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කොට 2009 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලදී. අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට අනුව  සියලුම රජයේ ආයතන ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු වේ. මෙම පිටුව ඉ-රාජ්‍යයට හැඳින්වීමක් සපයයි. ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය හා තොරතුරු සුරක්ෂිතතා ප්‍රතිපත්තිය පිළිබඳ ලේඛන ද බාගත කර ගැනීමට පුළුවන.

ඉ-රාජ්‍යය පිළිබඳ හැඳින්විමක්

විස්තරාත්මක ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති අනුකූලතා විමර්ශන ලැයිස්තුව

ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව  නිකුත් කළ ජනාධිපති චක්‍රලේඛය

සංක්ෂිප්ත තොරතුරු සුරක්ෂිතතා ප්‍රතිපත්තිය

විස්තරාත්මක තොරතුරු සුරක්ෂිතතා ප්‍රතිපත්තිය

ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වෙබ් අඩවියේ ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති ව්‍යාපෘති පිටුවට යන්න.

ඉ රාජ්‍ය ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ  පළමුවැනි ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය 2009 දෙසැම්බර් මාසයේදී  අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද්දේ 2010-2012 කාලය තුළ සියලුම රජයේ ආයතනවල ක්‍රියාත්මක කිරීම සඳහාය. මෙය ක්‍රියාත්මක කිරීම සමීක්ෂණය කිරීමත්. ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමත්, අවශ්‍ය නම් සංශෝධනය කිරීමත් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් වගකීම පවරන ලද්දේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයටයි. මෙම ආයතනය විසින් ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන දැනුවත් කිරීමත්,එය ක්‍රියාත්මක කිරීමත්, සමාලෝචනයත් සඳහා  රටපුරා  රජයේ කළමනාකරුවන්ගේ සහභාගිත්වයෙන්  සම්මන්ත්‍රණ හා වැඩමුළු මාලාවක් පවත්වන ලදී.  ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙම ආයතනයේ වෙබ් අඩවියේ විස්තර කර තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් 2010, 2011,2012 හා 2013 යන වර්ෂ වලදී ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්ෂික සමාලෝචන පවත්වන ලදී.  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා අනිකුත් සහභාගිවූ සංවිධාන විසින් දරණ ලද ප්‍රයත්නයන් මැද වුවත් රජයේ ආයතන තුළ ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය  ක්‍රියාත්මක කිරීම එතරම් සාර්ථක නොවීම කනගාටුවට කරුණකි.

ක්‍රියාත්මක කිරීම දුර්වලවීමට හේතු, විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ප්‍රධාන පාර්ශවකරුවන්ගේද සහභාගිත්වයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් පහත දැක්වෙන තීරණ ගන්නා ලදී.

  • ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියේ ඉතා සංකීර්ණ  ප්‍රතිපත්ති අවශ්‍යතා අඩංගු වේ.
  • ප්‍රතිපත්තිය ඉතා විස්තීර්ණ වේ. මෙම ආයතනවල ඉ-රාජ්‍ය පරිණත මට්ටම් වෙනස් වුවත් සියලුම රජයේ ආයතනවිසින් ක්‍රියාත්මක  කළ යුතු ප්‍රතිපත්ති ප්‍රකාශන 29 ක් හා ප්‍රතිපත්ති උපදේශ 177 ක්  අඩංගු විය.
  • ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම් පැහැදිලිව හඳුනා ගෙන නොතිබුණි.
  • ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම තිබු ප්‍රධාන නවීකරණ නිලධාරීන්ට ඒ පිළිබඳ පැහැදිලි අදහසක් නොවීය. තවද මෙම නිලධාරීන්ට ඒවා ක්‍රියාත්මක කිරීමේ  බලයක්දනොතිබුණි.
  • මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ ඇයිද යන්න ගැන රජයටද පැහැදිලි අදහසක් නොතිබුණි. (ප්‍රතිපත්තියේ අරමුණු පැහැදිලි නැත)

ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති සමාලෝචන කමිටුව

ප්‍රතිපත්තියේ සංශෝධිත කෙටුම්පතක්  සකස් කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති තුමා විසින්  ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති සමාලෝචන කමිටුවක් පත් කරන ලදී.

ප්‍රතිපත්ති සමාලෝචන කමිටුව, අවශ්‍ය ආකාරයට ප්‍රතිපත්තිය සංශෝධන කරමින් හා යාවත්කාලීන කරමින්  මෙම කටයුතු ආරම්භ කළේය. ප්‍රතිපත්ති ප්‍රකාශන හා උපදෙස් සකස් කිරීම සඳහා කමිටුව අනිත් රටවල මේවා ලේඛන ගත කර ඇති ආකාරයත්,ප්‍රතිපත්තියේ මුල් අනුවාදයේ ඇතුළත් කර ඇති අවශ්‍යතාත් අධ්‍යයනය කළෝය.

ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නව තේමාවක් ගැන එකඟවූ  කමිටුව ප්‍රතිපත්ති අරමුණු 10ක් කෙටුම්පත් කළ අතර ඒ යටතේ ප්‍රතිපත්ති ප්‍රකාශන 32ක් හඳුනාගන්නා ලදී.

මෙම කමිටුව විසින් ප්‍රතිපත්ති මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලදී. මෙම ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ක්‍රියාකාරී කමිටුව ප්‍රතිපත්ති මාර්ගෝපදේශ කෙටුම්පත් කර RACI න්‍යාසය (වගකිවයුතු, වගවියයුතු, උපදෙස්ගත්, දැනුම්දුන්) යොදා ගනිමින් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් හඳුනා ගත්තේ ය.

රජයේ ආයතනවලට ප්‍රතිපත්ති අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට පහසු ප්‍රවේශයක් හඳුන්වා දුන් ක්‍රියාකාරී කමිටුව, මෙම ආයතනවල ඉ-රාජ්‍ය පරිණත බව හඳුනා ගැනීමේ ක්‍රමයක් ද  ඉදිරිපත් කළේ ය.

උපදේශන ක්‍රියාවලිය

ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමෙන් පසුව පුළුල් සාකච්ඡාවක් සඳහා රජයේ ප්‍රධාන නවීකරණ නිලධාරීන්, රජයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් වූ හා නොවු පුද්ගලික අංශයේ කළමනාකරුවන්, ශාස්ත්‍රඥයින් හා සිවිල් සමාජ සාමාජිකයන් ආදීන්ට  එය ඉදිරිපත් කරන ලදී.පොදු මාධ්‍ය භාවිතා කරමින්  මෙම ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීම සඳහා මහජන අදහස් ද විමසන ලද අතර එයටද  සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබුණි.

විමර්ශන ලැයිස්තුව භාවිතා කරමින් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය

ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් එහි සාර්ථකත්වය මෙම ආයතනයට වාර්තා කිරීමත් සඳහා ක්‍රියාකාරී කමිටුව විසින්  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ විමර්ශන ලැයිස්තුවක් පිළියෙල කරන ලදී.

ඉ-රාජ්‍ය පරිණත මට්ටම් භාවිතයෙන්  ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පහසු ප්‍රවේශයක් හඳුන්වා දුන් ක්‍රියාකාරී කමිටුව විසින් එය ලේඛන ගත කර තිබේ.

මෙම ප්‍රවේශය අනුගමනය කිරීමෙන් රජයේ ආයතනවලට ඔවුන්ගේ ඉ-රාජ්‍ය පරිණත මට්ටම මත පදනම්වප්‍රතිපත්ති අවශ්‍යතා තීරණය කළ හැකි වේ. උදාහරණයක් වශයෙන් සෑම රජයේ ආයතනයක්ම ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ යුත්තේ පහළම ඉ-රාජ්‍ය පරිණත මට්ටම වන  “තොරතුරු“ අදියරට සම්බන්ධ ප්‍රතිපත්ති අවශ්‍යතා ක්‍රියාත්මක කරමිනි. තොරතුරු අදියරේ ප්‍රතිපත්ති අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමෙන් පසු ඊළඟ අදියර වන “අන්තර්ක්‍රියා“අදියරට සම්බන්ධ ප්‍රතිපත්ති අවශ්‍යතා ක්‍රියාත්මක කළ යුතු වේ. යම් කිසි ආයතනයක් එක් අදියරක අවශ්‍යතාවලින් 70%ක්වත් ක්‍රියාත්මක කර නැත්නම්  ඊළඟ මට්ටමට යා යුතු නොවේ. යම් කිසි රජයේ ආයතනයකට “අන්තර්ක්‍රියා“ අදියරෙන් ඔබ්බට යා නොහැකි නම්  අපි එම ආයතන “අන්තර්ක්‍රියා“ මට්ටමේ ඇති ඒවා ලෙස හඳුනා ගනිමු.

කෙසේ වෙතත් ඉහළ අදියරක අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නිදහස ඇති අතර ක්‍රියාත්මක කිරීමේ විමර්ශන ලැයිස්තුව ඒ අනුව ලකුණු කළ හැකි වේ.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඇගයීම

රජයේ ආයතනවල ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඇගයීම හා සත්‍යාපනය සඳහා “ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ විමර්ශන ලැයිස්තුව“ භාවිතා කරනු ඇත.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සනාථකිරීම සඳහා රජයේ ආයතන විසින් ඉදිරිපත් කළ යුතු ලේඛන කට්ටලයක් විමර්ශන ලැයිස්තුවෙන් හඳුනාගෙන තිබේ.  සත්‍යාපනය සඳහා අවශ්‍ය සියලුම ආකෘතිපත්‍ර ප්‍රතිපත්ති කණ්ඩායම විසින් සකස්කර තිබේ.

සෑම ආයතනයක් විසින්ම ඉදිරිපත් කරන ක්‍රියාත්මක කිරීමේ විමර්ශන ලැයිස්තු මත පදනම්ව සෑම ආයතනයකම ප්‍රතිපත්ති අනුකූලතා ප්‍රමාණය ඇගයීමට බලාපොරොත්තු වේ. සෑම ආයතනයකම  අනුකූලතා ප්‍රමාණය ගැන පුරවැසියන්ට දැන ගැනීමට හැකිවන පරිදි  මෙම ඇගයීම්වල ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් කරනු ඇත.

Top